දින කිහිපයක සිට බලපා ඇති තද වැසි, සුළං හා අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ජනතාව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 556 කට අයත් 2245 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මහනුවර, නුවරඑළිය, කෑගල්ල, බදුල්ල, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් මෙසේ පීඩාවට පත්ව ඇතිබව ඒ මහතා පැවසීය.

මෙමගින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ පවුල් 307කට අයත් 1,128 දෙනෙක් තද සුළං හා අකුණු අනතුරු හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද ඔහු සඳහන් කළේය.

මීට අමතරව නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 140කට අයත් 628 දෙනෙක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 66කට අයත් 286 දෙනෙක්, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 53කට අයත් 267 දෙනෙක්, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 51කට අයත් 193 දෙනෙක් සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 5කට අයත් 29 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ආපදා තත්වය හේතුවෙන් නිවාස 22කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 484කට අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එසේම හත්දෙනෙකු තුවාල ලබා මරණ තුනක් වාර්තා වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here