රැජිනගේ රාජකීය සමු ගැනීම

Read Time:14 Minute, 56 Second

මිලියන සංඛ්‍යාත ලෝ වාසීන්ගේ හදවත් මහත් කම්පනයකට ලක් කරමින් අවසන් ගමන් ගිය බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජනගේ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී අද දින සිදු කෙරේ. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සිහසුනෙහි සිටි රාජකීය පාලකයා හැටියට හැඳින්වෙන්නේ දෙවන එලිසබෙත් රැජනයි. බ්‍රිතාන්‍යයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ රැජන ලෙස ඈ පත්වූයේ 1952 වසරේදීය. එතැන් පටන් වසර හැත්තෑවකුත් දින දෙසිය දහ හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ ඕ එකී තනතුරෙහි කටයුතු කළාය. ලෝක ඉතිහාසයට අද්විතීය සහ සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළ දෙවන එලිසබෙත් රැජනගේ ආදාහන කටයුතු සිදු කෙරෙන අන්දම පිළිබඳව ලෝකවාසීහු විශාල පිරිසක් දැඩි උනන්දුවකින් පසුවෙති.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජනගේ ආදාහන කටයුතු සිදු කෙරෙන්නේ මහත් අභිමානවත් සහ උත්කර්ෂවත් රාජකීය චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් මධ්‍යයේය. බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර, වෙස්මිනිස්ටර් නගරයේ ස්ථාපිත වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ආදාහන දේව මෙහෙය පැවැත් වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය මෙයට වසර 1062කට පමණ ඉහතදී ඉඳි කිරීම ආරම්භ කෙරුණු, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දේවස්ථානයක් බැව් මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතුය. බ්‍රිතාන්‍ය රාජකීයයන් රැසකගේ විවාහ උත්සව ද ආදාහන උත්සව ද රාශියක් මෙහි සිදු කෙරී තිබේ. දෙවන එලිසබෙත් රැජන ඔටුනු පැලඳීමේ උත්සව අවස්ථාව 1953 වසරේදී සිදු කෙරී තිබෙන්නේ ද වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහිය. එලිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජන ලෙස රාජාභිෂේක ලබන්නට පළමුව) සහ පිලිප් මවුන්ට්බැට්න් අතර විවාහය 1947 වසරේ නොවැම්බර් මස 20 වැනි දින සිදුව තිබෙන්නේ ද මෙකී දේවස්ථානයෙහිදීමය. රැජනගේ මවගේ අවමංගල්‍ය උත්සවය 2002 වසරේදී මෙහි සිදු කෙරිණ. ඔටුනු පැලඳි අධිරාජ්‍යයකුගේ අවමංගල්‍ය උත්සවයක් අවසන් වරට එහි පැවැත් වුණේ 18 වන සියවසේදී බව සඳහන් වේ. ඉන් මතු ඔටුනු පැලඳි අධිරාජ්‍යයකුගේ ආදාහන උත්සවයක් වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පළමු වරට සිදු කෙරෙන්නේ අදය.

සහභාගී වන රාජකීයයෝ

වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී ආදාහනය පිළිබඳ පවුලේ දේව මෙහෙය සහ අනෙකුත් සම්ප්‍රදායන් පැවැත්වෙන්නට පළමුව වෙස්මිනිස්ටර් ඇබේ දේව ස්ථානයේදී දේව මෙහෙය පැවැත් වෙන්නට නියමිත බව බකින්ග්හැම් මාලිගය පසුගිය දා නිකුත් කළ නිවේදනයක සඳහන් විණි. දෙවන එලිසබෙත් රැජන ජීවත්ව සිටි සමයේදී තම අවමංගල උත්සවය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබූ බව ද එම නිවේදනයෙන් කියැවුණේය. ඒ අනුව අවමංගල්‍ය උත්සවයට ඇය පෞද්ගලිකව ම මැදිහත් වී එකතු කළ අංග ද තිබෙන බව එහි වැඩිදුරටත් සඳහන් ව තිබිණ.

අවමංගල උත්සවයට විශේෂයෙන් ම සහභාගි වන රාජකීයයෝ පිරිසක් ද වෙති. තුන්වන චාර්ල්ස් රජු සහ ඔහුගේ අගමෙහෙසිය කැමිලා පාර්කර් ද ඒ අතර කැපී පෙනෙති. රැජනගේ සෙසු දරුවන්, ඔවුන්ගේ සහකරුවන් සහ සහකාරියන් වන ඈන් කුමරිය සහ සැමියා ද, ඇන්ඩෘ කුමරු සහ ඔහුගෙන් වෙන් වූ බිරිය – සාරා ෆර්ගියුසන් ද, එඩ්වර්ඩ් කුමරු සහ බිරිය ද මේ අවස්ථාවන්ට එක්වෙති. රැජනට මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකි. විලියම් කුමරු, හැරී කුමරු , බියට්‍රිස් කුමරිය, එයුජින් කුමරිය, සාරා ටින්ඩොල්, පීටර් පිලිප්ස්, ලුයිසී වින්ඩ්සර් ආර්යාව සහ වංශාධිපති ජේම්ස් එම අට දෙනා ය. ඔවුහු ද සිය මිත්තණියගේ ආදාහන කටයුතු වෙනුවෙන් සහභාගි වීමට අවසරය ලබා සිටින්නෝය. දෙවන එලිසබෙත් රැජින මී මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකුගේ ද අත්තම්මා කෙනෙකි. ඔවුන්ගෙන් කවර අයට රැජනගේ ආදාහනයට සහභාගිවීමට අවසරය ලැබී ඇත්ද යන්න අපැහැදිලිය. වේල්සයේ කුමරිය ලෙස විරුදාවලි ලත් අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ සොයුරු අර්ල් ස්පෙන්සර් ද මේ අවස්ථාවේදී රාජකීයයන් සමඟ එකතු වනු ඇත.

ආදාහන චාරිත්‍ර වාරිත්‍ර

එරට වේලාවෙන් පෙරවරු හය පමණ වනවිට සාමාන්‍ය ජනයාට රැජනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලබා දී තිබු කාලය අවසන් කිරීමට නියමිතව ඇති බව නෝර්ෆෝල්ක්හි ආදිපාද අර්ල් මාර්ෂල් පවසයි. දින හතරහමාරකට ආසන්න කාලයක් වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු දේහය සම්බන්ධ ආදාහන චාරිත්‍ර වාරිත්‍ර සහ රාජකීය සම්ප්‍රදායන් පැවැත්වීම එතැන් සිට ආරම්භ කෙරේ. සාමාන්‍ය ජනයාට වෙනුවෙන් වෙන්කර තිබුණු එකී කාලයේදී ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් රැජනගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනු ඇතැයි සඳහන් වේ. තවත් මිලියන සංඛ්‍යාත පිරිසක් පෙරහැර ගමන් ගන්නා මඟ දෙපස රැඳී සිටිනු ඇතැයි අනුමාන කෙරේ.

පෙරවරු 8.00 සිට අවමංගල්‍ය උත්සවය ආරම්භ වීමට නියමිතව පෙරවරු 11.00ට ආසන්න වන තුරු ගත වන කාල පරාසය වෙන් කර තිබෙන්නේ විශේෂ අමුත්තන්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. ඒ සඳහා වෙස්මිනිස්ටර් ශාලාවේ දොරටු විවෘත කෙරෙනු ඇත. රාජ්‍ය විශාල සංඛ්‍යාවක රාජ්‍ය නායකයන් මෙම අවස්ථාවට සහභාගි වනු ඇතැයි අනුමාන කෙරේ. ඒ ඔවුන් වෙත කරන ලද ආරාධනයන් අනුවය. රජවරු, රැජිනියෝ, ජනාධිපතිවරු සහ අග්‍රාමාත්‍යවරු එකී පිරිසට ඇතුළත් වෙති. බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයන් ද, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් ද මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය. එසේ වූවත් මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා ආරාධනය නොලැබූ රාජ්‍ය නායකයෝ පිරිසක් ද සිටිති. සිරියාව, වෙනිසියුලාව සහ ඇෆ්ඝනිස්ථානය යන රටවල නායකයන්ට ආරාධනය කෙරී නොමැත. බ්‍රිතාන්‍ය එකී රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවැත්වීම එයට හේතුව වශයෙන් සඳහන් වේ. දෙවන එලිසබෙත් රැජනගේ ආදාහන උත්සවයට සහභාගි වීම සඳහා රුසියාව, බෙලරුසියාව සහ මියැන්මාරය යන රටවල නායකයන්ට ද ආරාධනය කර නැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

රත්වන ගෝලීය දේශපාලනය

රුසියා – යුක්‍රේන යුද්ධය හේතුවෙන් බ්‍රිතාන්‍ය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු වී තිබේ. එබැවින් රුසියාවේ නායකයාට මෙම අවස්ථාවට සහභාගී වීමට ආරාධනය නොකිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් ක්‍රියාකර ඇත. ගෝලීය දේශපාලනය රත් කරන උතුරු කොරියාවට මේ අවස්ථාවට සහභාගී වීමට ආරාධනා ලැබී තිබීම විශේෂත්වයකි. එසේ වූවත් උතුරු කොරියාවේ නායකයන්ට ඊට ආරාධනය නොලැබී ඇති අතර සහභාගිවීමට ඉඩ තිබෙන්නේ තානාපතිවරුන්ට පමණි. නිකරගුවාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ද එයට සමාන ම තත්ත්වයක් බව සඳහන් වේ.

පෙරවරු 10.44 පමණ වනවිට රැජනගේ දෙණ වෙස්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යෑමේ සම්ප්‍රදායික කටයුතු මධ්‍යයේ ආරම්භ කෙරේ. දෙවන එලිසබෙත් රැජනගේ දේහය රැගෙන යෑමට නියමිතව තිබෙන්නේ රාජකීය නාවුක හමුදාවට අයත් විශේෂ රථයකිනි. ඊට නාවුක සෙබළු 142ක් සහභාගි වෙති. මෙම විශේෂ රථය අවසන් වරට ලෝකයාට දැක ගැනීමට ලැබුණේ පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැට්න් සාමිවරයාගේ ආදාහන කටයුතු සිදු කෙරුණු අවස්ථාවේදීය. එනම් 1979 වසරේදී ය. දෙවන එලිසබෙත් රැජනගේ පියා වූ හයවන ජෝර්ජ් රජතුමා 1952 වසරේදී අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී ද මෙම රථයම භාවිතයට ගැනිණ. මෙම ආදාහන උත්සවයේදී රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගමන් ගන්නේ තුවක්කු සහිත එකී විශේෂ රථය පසු පසිනි. අභිනවයෙන් පත් වූ තුන්වන චාර්ල්ස් රජු සහ ඔහුගේ පුතුන් වන විලියම් සහ හැරී කුමාරවරු ඒ අතර වෙති. ස්කොට්ලන්ත සහ අයර්ලන්ත රෙජිමේන්තුවල ද රාජකීය ගුවන් හමුදාවේ ද වාදකයන්ගේ වැයුම්වලින් අවමංගල පෙරහැරට අභිමානවත් බවක් සහ උත්කර්ෂවත් බවක් එක් කෙරේ. රාජකීය නාවික හමුදා සාමාජිකයෝ සහ රාජකීය මැරයින් භටයෝ පෙරහැර මඟ දෙපස අලංකාර කරති. හමුදා තූර්යවාදන උත්තමාචාරයක් පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී දේහයට පිරි නැමේ.

 

අවමංගල දේව මෙහෙය

වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අවමංගල දේව මෙහෙය පැවැත් වේ. වෙස්ට්මිනිස්ටර්හි පීඨාධිපති ඩේවිඩ් හොයිලේ දේව මෙහෙය පවත්වනු ඇතැයි සඳහන් වේ. කැන්ටබරීහි අගරදගුරු ජස්ටින් වෙල්බි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කෙටි කථනයක් සිදු කිරීමට ද නියමිත ය. අවමංගල්‍ය දේව මෙහෙය පිළිබඳ කටයුතු පෙරවරු 11.55 පමණ වනවිට අවසන් කෙරේ. අනතුරුව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පළ කිරීමේ සහ ජාතික ගීය වාදනය කිරීමේ අවස්ථාවන් උදා වේ. අවමංගල දේව මෙහෙය පැවැත්වීමෙන් පසු රැජනගේ දේහය වෙලින්ග්ටන් ආර්ච් දක්වා රැගෙන යනු ලබන්නේ ගරු බුහුමන් මාධ්‍යයේය. හයිඩ් පාර්ක්හිදී පිදෙන ආචාර වෙඩි මුර මඟින් ද, අනතුරුව තූර්ය වාදන මඟින් ද පෙරහැරට අභිමානවත් බවක් එක් කෙරේ. පස්වරු තුන පමණ වනවිට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ දේහය ආසන්නයට එක් වෙති. දේහය පෙරහැරෙන් ම වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යනු ලැබේ. එයට පළමුව විශේෂ අවමංගල රථයකට දේහය මාරු කිරීමට ද නියමිතව තිබේ.

ඉන් අනතුරුව එළැඹෙන්නේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට රැගෙන ඒමේ අවස්ථාවයි. රාජකීයයන් සිය විවාහ මංගල උත්සව සඳහාත්, භෞතිස්ම කිරීම් සඳහාත්, අවමංගල්‍ය කටයුතු සඳහාත් තෝරා ගන්නේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයයි. රාජකීයයන්ගේ ඉතා වැදගත් උත්සව අවස්ථා කිහිපයක් ම මෑත භාගයේදී එහි පැවැත් විණි. හැරී කුමරු සහ මෙගන් අතර විවාහ මංගලෝත්සවය සහ රැජනගේ සැමියා වූ පිලිප් කුමරුගේ ආදාහනෝත්සවය එහිදී පැවැත්වීම ඒ අතර කැපී පෙනෙයි. දෙවන එලිසබෙත් රැජනගේ ආදාහනය සම්බන්ධයෙන් ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයට වෙසෙසින් ආරාධනා ලත් පිරිසක් පමණක් සහාභාගි වෙති. වින්ඩ්සර් පීඨාධිපති ඩේවිඩ් කොනර් එහිදී දේව මෙහෙය පවත්වයි. මෙම දේව මෙහෙය පැවැත්වීමත් සමඟ ම දෙවන එලිසබෙත් රැජනගේ පාලන සමය සාම්ප්‍රදායිකව අවසන් කෙරෙන බව සංකේතවත් කෙරේ. රැජනගේ ඔටුන්න සහ අනෙකුත් නිල ආභරණ දේහය මතින් ඉවත් කිරීම සිදු කිරීමට අවකාශය ලැබෙන්නේ ඉන් අනතුරුවයි. රාජකීයත්වය හා සබැඳුණු තවත් චාරිත්‍ර සහ සම්ප්‍රදායන් රාශියක් පස්වරු 4.45 පමණ වන තුරු පැවැත් වේ.

දේහය ආදාහනය කිරීමේ අවස්ථාව උදා වනවිට පස්වරු 7.30 පමණ වනු ඇතැයි අනුමාන කෙරේ. ආදාහනය සිදු කෙරෙන්නේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය අභ්‍යන්තරයේ ස්ථාපිත හයවන ජෝර්ජ් රජු අනුස්මරණ දෙව්මැදුරේදී ය. රැජනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරු භූමදානය කෙරුණු ස්ථානය ආසන්නයේම රැජනගේ දේහය ද භූමදානය කෙරෙනු ඇත. “එලිසබෙත් ii 1926 – 2022” යනුවෙන් සටහන් කෙරුණු කිරි ගරුඬ පුවරුව භූමදාන කටයුතුවලින් පසුව ඒ මත ස්ථානගත කිරීමට නියමිතය.

(උපුටා ගැනීම : දිනමිණ )

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මහ රැජිනගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
Next post විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි