සමකාලීන මාධ්‍යවේදීන්ගේ පරාධීන ගතියක් පේනවා – අචාර්ය ටියුඩර් වීරසිංහ

Read Time:27 Minute, 14 Second

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශක මාධ්‍යවේදී සුගත් රත්නායක මහතා විසින් රචිත තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති කෘතිය එළි දැක්වීමේ උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශ්‍රීපාලි මණ්ඩපයේ  ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවැත්වු සම්පුර්ණ දේශනයි මේ.

“තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති”කියන සුගත් රත්නායකගේ මෙම කෘතිය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක්. දිනයක් දෙකක් වගේ ඇතුළත පොත එළිදැක්වීමේ උත්සවය අධිවේගයෙන් සංවිධානය කලාට එය රචනා කර ඇත්තේ දිර්ඝ කාලීන අත්දැකීම් තුළින් ලත් පරිචයකින්. පොතක් එළි දැක්වීමේ උත්සවය නෙවෙයි වඩාත් වැදගත් වන්නේ එහි අන්තර්ගතය. මාධ්‍ය ක්ෂේත්‍රයට න්‍යායික වශයෙනුත්, ප්‍රායෝගික ව‍ශයෙනුත් ප්‍රවෘත්තිකරණ ‍ක්ෂේත්‍රය පෝෂණය කිරීම සදහා මෙම කෘතියෙන් සුවිශේෂී දායකත්වයක් සපයනවා කියන එකයි මගේ අදහස.

‍මම මේ පොත සම්පුර්ණයෙන් ම කියෙව්වා. සුගත් චීන ගුවන් විදුලියේ රාජකාරිවල යෙදෙන අතර එය කොටස් වශයෙන් මට එව්වා. මම හිතන්නේ තවම අපේ රටේ ප්‍රවෘත්ති ‍ක්ෂේත්‍රයට මෙවැනි කෘතියක් බිහිවෙලා නැහැ කියලයි. ඒ කියන්නේ මෙය එක්තරා ආකාරයක විශ්වකෝෂීය ස්වරූපයක් ගෙන තිබෙන කෘතියක්. ප්‍රවෘත්ති සම්භවයේ සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, සංස්කරණය ආදී සමස්ත ක්‍රියාවලියම සිදුකරන හා සිදුකළ යුතු ආකාරය මෙහි අන්තර්ගත වෙනවා. ඉතා සුළු කරුණු කිහිපයක් පමණයි අඩු වෙලා තියෙන්නේ. සමස්තයක් ලෙස මෙය අංග සම්පුර්ණ කෘතියක් ලෙස ඇත්ත වශයෙන් ම සලකන්න පුළුවන්.

බෙහෝ විට අපේ රටේ මාධ්‍ය අධ්‍යයන හා ශාස්ත්‍රාලීය ක්ෂේත්‍රයේ තිබෙන අඩුවක් තමයි ප්‍රවෘත්තිකරණය සම්බන්ධයෙන් ‍පෙළ පොතක්(Text book) බිහිවෙලා නොමැති වීම. නමුත් බටහිර රටවල හැම විෂයකට ම පෙළ පොත් තිබෙනවා. අපේ රටේ අවුරුදු 40 ට වඩා වැඩි කාලයක් උසස් අධ්‍යාපන මට්ටමින් මාධ්‍ය හදාරනවා. නමුත් පෙළ පොතක් තවම බිහිවුනේ නැහැ. සමස්තයක් විදිහට ඒක ලොකු අඩුවක්. මේ කෘතිය සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම ආවරණය කරන කෘතියක් නොවෙයි. නමුත් මෙය ප්‍රවෘත්තිකරණයට අදාල කෘතියක්. ප්‍රවෘත්තිකරණය සම්බන්ධයෙන් මෙතෙක් ලියවෙලා තිබෙන කෘති අතුරින් වඩාත් අංග සම්පුර්ණ, බොහෝ දේවල් ආවරණය කළ, සරළ සහ කියවීමට උනන්දු කරවන සුළු භාෂා ශෛලියකින් මේ කෘතිය රචනා කර තිබෙනවා‍. ඒ නිසා “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති”කියන මේ කෘතිය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ටත්, මාධ්‍ය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ටත්, සාමාන්‍ය පොදු පාඨකයාටත් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස සලකන්නට පුළුවන්.

අද බොහෝ දුරට සමහරුන් පොත් ලියන්නේ ඒ ගැන පරිචයක් හෝ අත්දැකීම් හෝ න්‍යායික සංකල්පීය පසුබිමකින් තොරව. සුගත් කාලයක් තිස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවෘත්ති වාර්තාකරණය, සංස්කරණය, ප්‍රවෘත්ති නිවේදනය වගේම ජාත්‍යන්තර ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේත් අත්දැකීම් ඇති ශාස්ත්‍රාලීය වශයෙනුත් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි හදාරා වෙනත් රටවල පුහුණු පාඨමාලාවලට සහභාගිවීමෙන් ලබාගත් දැනුමත් එක්ක මේ පොත සම්පාදනය කරලා තියෙන්නේ. ඒක තමයි මට හිතෙන්නේ මේ කෘතියට පද්ධතිමය, ක්‍රමික, විධිමත් ස්වරූපයක් ලැබිලා තියෙන්නේ කියලා. එම නිසා ලංකාවේ ප්‍රවෘත්තිකරණ ක්ෂේත්‍රයට මෙය වැදගත් කෘතියක් ලෙස සලකන්න පුළුවන්.

ප්‍රවෘත්ති කියන්නේ ලෝක මාධ්‍ය පද්ධතිය තුළ ඉතා වැදගත් කොටසක්. සංහතික(ජන) මාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් තියෙනවා. සමස්ත නිර්මාණ එම ක්ෂේත්‍ර තුනට අන්තර්ගත කරන්න පුළුවන්. එකක් තමයි තොරතුරු සහ ප්‍රවෘත්ති කියන ක්ෂේත්‍රය. දෙවැන්න තමයි වි‍ශ්ලේෂණාත්මක වැඩසටහන්. අනෙක තමයි වාර්තාමය-කලාත්මක වැඩසටහන්. මෙන්න මේ ක්ෂේත්‍ර තුනෙන් පරිභාහිරව කිසිම දෙයක් මාධ්‍ය තුළ නැහැ. මේ වර්ග තුනට ලෝක මාධ්‍යයේ සමස්තය ම අන්තර්ගත කරන්න පුළුවන්. සුගත්ගේ මුලික අවධානය යොමු වෙලා තියෙන්නේ මා කියු පළමු කාරණයට. ඒ කියන්නේ තොරතුරු හා ප්‍රවෘත්ති කියන ක්ෂේත්‍රයට. මේ වර්ග තුන බෙදලා තියෙන්නේ යම්කිසි තාර්කික විද්‍යාත්මක සිද්ධාන්තයක් පදනම් කරගෙන.

ප්‍රවෘත්තියක තියෙන මුලික දේ තමයි දැනුවත් කිරීම(inform). කලාත්මක වැඩසටහනක් ඒ කියන්නේ ටෙලි නාට්‍යයක්, ටෙලි චිත්‍රපටයක් ගතහොත් එතන තියෙන්නේ දැනුවත් කිරීම නෙවෙයි නිරූපණය, රසාස්වාදනය වගේ විවිධ පැතිකඩ. විශ්ලේෂණාත්මක වැඩසටහන් වලත් තියෙන්නේ දැනුවත් කිරීම නෙවෙයි, එතන තියෙන්නේ ගැඹුරින් විග්‍රහ කිරීම, විශ්ලේෂණය කිරීම, සංස්ලේෂණය කිරීම. එහිදි සිදු වන්නේ යම් ආකාරයක ලෝක දෘෂ්ඨිය, ජනමතය පෝෂණය වීමට අදාල ප්‍රපංචයේ අභ්‍යන්තරයට ගිහින් ඒවා අනාවරණය කිරීමයි. ප්‍රවෘත්තියේ තිබෙන වැදගත්ම දේ තමයි දැනුවත් කිරීම. ප්‍රවෘත්තිය කියන එක ආරම්භයේ සිට  විකාශය වෙලා පරිනාමය වෙලා තියෙනවා. අද ප්‍රවෘත්ති කියන එක හඳුනා ගන්න බැරි තරමට ම එහි මුලික සම්භවය සාම්ප්‍රදායික ස්වරූපයෙන් වෙනස් වෙලා තියෙනවා.

ප්‍රවෘත්ති මානව සමාජ යථාර්ථය පරාවර්ථනය කිරීමේ සුවිශේෂී ස්වරූපයක් ලෙස වර්ධනය වීමේ ඉතිහාසය ඉතා දිගු එකක්. ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේදී පැරණි ඊජිප්තුවේ පාරාවෝ නම් රජ මාලිගයේ පැපිරෝසී පුවත්පතක් පැවති බව ප්‍රකට කරුණක්. ලෝක ඉතිහාසයේ පළමු වතාවට විධිමත්ව ප්‍රවෘත්ති පාදක කරගෙන පුවත්පතක් බිහි වන්නේ ක්‍රි.පු 59 දී පමණ. ඒ තමයි ජුලියස් සීසර්ගේ රෝම අධිරාජ්‍යයේ Acta Diurna Populi (රෝම ජනතා දිනපතා පුවත්පත) කියන පුවත්පත. ඒක තමයි පළමුවෙනි ම භාවිතය. ප්‍රවෘත්ති බිහිවන්නේ කාලීනත්වය, ගතිකත්වය, සක්‍රීයභාවය සමඟ දෛනිකව සිදුවන දේවල් පිළිබදව මිනිසුන් දැනුවත් කරන්න. ඊට කලින් තිබුණේ පුරාණෝක්ති නැතිනම් ජනශ්‍රැති. ඊට පසුව ආගම බිහිවුණා. දර්ශනවාද බිහිවුණා. හැබෑයි ප්‍රවෘත්ති කියන මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයේ භාවිතය බිහි වන්නේ සංවිධානාත්මක සහ ගුණාත්මක වශයෙන් අනෙක් පඨිතයන්ගෙන් වෙන් වෙන විදිහට. නැතිනම් පුරාණෝක්ති, සුරංගනා කථා, මහා වීර කාව්‍යයන්ගෙන් වෙන් වන විදිහට. ප්‍රවෘත්ති කියන විශේෂ නිර්මාණ වර්ගය බිහි වන්නේ පුවත්පත්වල වර්ධනයත් සමඟ. ආරම්භය තමයි එතකොට Acta Diurna Populi. ඒකේ නමෙත් වැදගත්කමක් තියෙනවා. Acta Diurna කියලා කියන්නේ දිනපතා ප්‍රවෘත්ති (Daily news) කියන එක. මීට අවුරුදු 2070 ගානකට කලින්  ඒක බිහිවුණේ. එදා බිහිවුන ප්‍රාග් සංහතික මාධ්‍යයේ සංසිද්ධිය වර්තමානය දක්වා විකාශය වෙලා විශේෂයෙන් ම 17 වන ශත වර්ෂය වනවිට පුවත්පත් බිහිවෙලා ප්‍රවෘත්ති කියන එක ජුලියස් සීසර්ගෙන් පටන් ගත්තේ. Acta Diurna ඇත්තටම අතින් ලියු පුවත්පතක්. ඒකෙන් වාර්තා කළේ යුද්ධය, රණකාමිත්ව ඇතුළු අනෙකුත් කාලීන තොරතුරු. ඒකේ දකින්න තිබුණේ දත්ත පමණයි. අර්ථ නිරූපන, විස්තර කිරීම්, පැහැදිලි කිරීම්, විග්‍රහ කිරීම් එහි තිබුනේ නැහැ.

17 වැනි ශත වර්ෂය වනවිට ප්‍රවෘත්ති කියන එක මනුෂ්‍ය සංහතියේ ප්‍රධාන ප්‍රපංචයක් බවට පත්වුණා. ඒ තුළින් නව භාවිතයක් මනුෂ්‍යයාට එක් වෙනවා. ඒ මොකක් ද කාලීනත්වයත් සමඟ මනුෂ්‍යාගේ විඥානය, මනස සවිඥානය කිරීමේ භාවිතයක් විදිහට තමයි ප්‍රවෘත්ති බිහි වන්නේ. අද අපි දිනපතා ප්‍රවෘත්ති අහනවා. උදේ, දවල්, හවස ඒ ‍විතරක් නෙවෙයි පැයෙන් පැය, පැය භාගයෙන් භාගය. ඒ කියන්නේ අපිට නිතර නිතර යාවත්කාලීන වෙන්න ඕන. යථාර්ථය හරිම ගතිකයි. දේශපාලන, ආර්ථික ක්ෂේත්‍ර හරිම ගතිකයි. ඒ නිසා ප්‍රවෘත්ති නිරන්තර‍යෙන් ම සම්පාදනය කරන්න ඕන. සිද්ධි වාර්තා ඉදිරිපත් කරන්න ඕන. ඒක තමයි ප්‍රවෘත්තිකරණයෙන් කරන්නේ. ඒ අනුව මනුෂ්‍ය වර්ගයා ඉතිහාසය තුළ යථාර්ථයට සම්බන්ධ වන විවිධාකාර ස්වරූපයන් රාශියක් තිබුණා. ඒ අතර වඩාත්ම වැදගත් ස්වරූපයක් විදිහට නිර්මාණය වුවක් තමයි ප්‍රවෘත්ති.

ප්‍රවෘත්තිවල තිබෙන විශේෂත්වය තමයි ප්‍රවෘත්තියෙන් ගොඩාක් වේලාවට ඉදිරිපත් වෙන්නේ සමාජ, ආර්ථික, දේශපාලන සංසිද්ධීන්ගේ ගැඹුරට වඩා එහි තිබෙන ප්‍රපංචමය ස්වරූපය. ඒ ‍දේ ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් මා ඉහතින් සඳහන් කළ විමර්ශනාත්මක වැඩසටහන් තියෙනවා. ඒ නිසා සුගත්ගේ මේ කෘතිය සම්පුර්ණයෙන් ම වෙන් වෙලා තියෙන්නේ වැදගත් ම සහ සුවිශාල ක්ෂේත්‍රයක් වන ප්‍රවෘත්තිකරණට. ඕනෑම මාධ්‍යයක අනන්‍යතාව අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ ඒ මාධ්‍යයේ ප්‍රවෘත්තිකරණයේ ස්වරූපය අනුව. ඒ කියන්නේ අදාල නාලිකාව හෝ මාධ්‍ය අප හඳුනා ගන්නේ ප්‍රවෘත්ති ඔස්සේ. එම නිසා  ඕනෑම මාධ්‍යයක අනන්‍යතාව, එහි මුහුණුවර, මාධ්‍ය ආයතනයේ දෘෂ්ඨිය හෝ ස්ථාවරය ප්‍රවෘත්ති ඔස්සේ තමයි හඳුනා ගන්නේ.

සුගත් මෙහි වඩාත් අවධානය යොමු කරලා තියෙන්නේ ප්‍රවෘත්ති සංස්කරණය කියන කොටසට. ‍දෛනිකව ලෝකයේ සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. නමුත් ඒ සිදුවීම් සියල්ල ප්‍රවෘත්ති විදිහට ගන්නේ නැහැ. ඒවා කොහොම ද තෝරන්නේ, කවුද ඒ තීන්දුව ගන්නේ, මොකක්ද ඒ සදහා තිබෙන යාන්ත්‍රණය, මේවා තවම ලෝකයේ ගැඹුරට අධ්‍යයනය කරලා නැහැ. දැනට තිබෙන පෙළපොත්වල මේ යාන්ත්‍රණය නැහැ. දැනට වෙන්නේ සමාජයේ සිදුවන දහසක් සිද්ධිවලින් තෝරාගත් ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා මාධ්‍යයේ සක්‍රීය දායකත්වයෙන් සමාජ ප්‍රශ්න බවට පත් කොට 1,2,3 ආදී වශයෙන් පෙළ ගස්වා ඉදිරිපත් කරන එක. එතකොට සමාජයේ තිබෙන්නේ ‍මේ ප්‍රශ්න පමණද? තවත් ප්‍රශ්න නැද්ද?

යුරෝ‍‍පයේ අද බහුලව කථා කරන මාතෘකාවක් තමයි පශ්චාත් සත්‍යය (post-truth) සත්‍යයෙන් පසු තත්වය. වර්තමානයේ ලංකාවේ වගේම ලෝකයේ ප්‍රවෘත්තිමය යුගය අවසානයි. දැන් ප්‍රවෘත්ති නැහැ. ෆ්‍රැන්සිස් ෆුකුයාමා ඉතිහාසය ඉවරයි (end of history) කිව්වා ව‍ගේ දැන් ප්‍රවෘත්ති ඉවරයි. දැන් තියෙන්නේ පශ්චාත් ප්‍රවෘත්ති. ඒ කියන්නේ ප්‍රවෘත්ති වලින් පසු තත්වයක් දැන් තියෙන්නේ. මේ වනවිට ප්‍රවෘත්ති පරිනාමය වෙලා තියෙනවා වෙන තලයකට.

මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ ප්‍රධාන යුග තුනක් ඔස්සේ තමයි ප්‍රවෘත්ති විකාශය වෙලා තිබෙන්නේ. එකක් තමයි පුර්ව නුතන යුගය. ඒ කියන්නේ ජුලියස් සීසර්ගේ යුගයේ සිට 17 වැනි සියවස වගේ දක්වා සාම්ප්‍රදායික සමාජයේ. එතකොට සාම්ප්‍රදායික සමාජයේ ප්‍රවෘත්ති කියලා දෙයක් තිබුණා. ඒ කාලයේ මොනවාද ප්‍රවෘත්ති කියන්නේ. ඒ ප්‍රවෘත්ති තමයි රාජාණ්ඩු ක්‍රම, දේශපාලන ප්‍රභූත්වය, ආගමික ප්‍රභූත්වය. හැම දෙයක් ම සැලකුවා පූජනීය දෙයක් විදිහට හැම දෙයක් ම උත්තරිතරයි. ආදරය, යුද්ධය, රාජ්‍යය, දෙවියන් වහන්සේ මේවා පිළිබදව කවුරුත් ප්‍රශ්න කළේ නැහැ. කවුරුත් විවේචනය කළේ නැහැ. මේවා තමන්ගේ ජිවිතයටත් වඩා වැදගත් දේවල් විදිහට සැලකුවා. ඒවාට අනුව මිනිසුන් ජිවිත හැඩගස්වා ගන්න උත්සාහ කළා. ඒක තමයි සාම්ප්‍රදායික සමාජයේ මුලික ලක්ෂණය. ඒ ප්‍රවෘත්ති හරිම ස්ථිතිකයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ වටා තමයි මුළු සමාජ පටිපාටිය ම ගොඩනැගී තිබුණේ. ඒ ප්‍රවෘත්තිවල තිබුණේ පුරාණෝක්ති (myth). පුර්ව නුතන යුගයේ තිබුණ ප්‍රවෘත්ති ආකෘතිය තමයි ඉහලින් ඉන්න දේශපාලන හෝ ආගමික ප්‍රභූත්වය කියන දේ පහළ ඉන්න මහ ජනතාව පිළිගන්න එක. එතනදී මිනිසුන්ගෙන් යළිත් උඩට උත්තරයක් එන්නේ නැහැ. ඒවා ප්‍රශ්න කිරීම් කරන්නේ නැහැ. ඒ කියන්නේ උඩින් පහළට එන්නේ. එතනදී පහළ මිනිසුන් අතර එම ප්‍රවෘත්ති කථාබහ වෙන්න පුළුවන්. නමුත් එතනදී උඩට කිසිවක් යන්නේ නැහැ. නිදසුනක් ලෙස සෑම පවුලකම දරුවන් 5 දෙනෙක් සිටිය යුතු බවට රාජ්‍ය නියෝගයක් ආවොත් මිනිසුන් එය ක්‍රියාත්මක කරනවා. නමුත් එතනදී පැන නගින ගැටළු, දුෂ්කරතා ඔවුන් ප්‍රශ්න කරන්නේ නැහැ. එසේ වුවත් ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිසුන් අතර කථාබහ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කථාබහ දේශපාලන ප්‍රභූත්වයට හෝ ආගමික ප්‍රභුත්වයට යන්නේ නැහැ. මෙන්න ඒ කාලයේ ප්‍රවෘත්ති ආකෘතිය.

දෙවැනි යුගය තමයි නුතන යුගය. නුතන යුගය 17 වැනි ශත වර්ෂයේ උදා වෙනවා. මේ කාලයේ සම්පුර්ණයෙන් ම ලෝක චිත්‍රය වෙනස් වෙනවා. වෙනස් වෙලා සමාජ ජිවිතයේ කේන්ද්‍රයේ තිබුණ පුරාණෝක්ති, දේව ධර්මවාදය, උත්තරීතරත්වය, පූජනීයත්වය පැත්තකට ගිහිල්ලා මිනිසා මැද්දට එනවා නැතිනම් මානව කේන්ද්‍රීය වෙනවා. හැම දෙයකම මිම්ම බවට මනුෂ්‍යා පත් වෙනවා. මානවවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය, මාක්ස්වාදය, ජාතිකවාදය ආදි විවිධාකාර දේ බිහි වෙනවා. ඒ සමගම තමයි ගෙවී ගිය අවුරුදු 400 තුළ අපිට බලපෑමක් කරපු අපේ අධ්‍යාත්මික හා සංස්කෘතිය පමණක් නොව දේශපාලන හා ආර්ථික ජිවිතය හඳුනාගන්න බැරි තරමට වෙනස් කරපු සංහතික මාධ්‍ය බිහි වන්නේ. එසේත් නැතිනම් ජනමාධ්‍ය (mass media) කියන එක බිහි වන්නේ නුතන යුගයේ. ඒ කියන්නේ 17 වැනි ශත වර්ෂයේ පුවත්පත් හා ප්‍රවෘත්ති බිහිවීමත් සමගම. මේ තත්වය තුළ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස් වෙනවා. දැන් දේශපාලන අධිකාරිත්වය උඩ තියෙනවා. පහළ ජනතාව සිටිනවා. ඒ අතරට ජනමාධ්‍ය එනවා. නිදසුනක් ලෙස දේශපාලන ප්‍රවෘත්ති සාකච්ඡාවක් ගැන හිතන්න. දේශපාලඥයින් වේදිකාවේ ඉන්නවා. ඔවුන් ඉස්සරහ නැතිනම් මැද මාධ්‍යවේදීන් ඉන්නවා. ඊට එහා මහජනතාව සිටිනවා. දැන් ජනතාව ප්‍රශ්න අහන්නේ දේශපාලන අධිකාරියෙන්. මාධ්‍ය වලින් නොවේ. මාධ්‍ය අතරමැදි කාර්යභාරයක් තමයි ඉටු කරන්නේ. එම නිසා සමකාලීන මාධ්‍යවේදියා දෙස බැලුවොත් ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයක ‍පොඩි පරාදීන ගතියක් පේනවා. මාධ්‍යවේදියාට තමන්ගේ ස්ථීර අදහසක් නැහැ. ඔහු ප්‍රභූත්වය සමඟ ඉන්නකොට හිතනවා තමා ප්‍රභූත්වයේ කොටසක් කියලා. ජනතාව අතරට ගියාට පස්සේ හිතනවා ජනතාව අතර ඉන්නේ කියලා. ඇත්තටම බැලුවොත් මේ දෙකට ම අයිති වෙන්නේ නැහැ. ඒ නිසා අද මාධ්‍යවේදියා ඉන්නේ බොහෝම ඛේදනීය තත්වයක. සිග්මන් ප්‍රොයිඩ් කිව්වා වගේ මනෝ විශ්ලේෂණය ඇතුලේ මම කියන පුද්ගලයාට අත්වෙලා තිබෙන ඉරණම තමයි අද මාධ්‍ය පද්ධතිය තුළ වර්තමාන මාධ්‍යවේදියාට අත්වෙලා තියෙන්නේ. ඔහු අර පැත්තෙනුත් තැලෙනවා. මේ පැත්තෙනුත් තැලෙනවා. ඔහු හිතාගෙන ඉන්නවා තමන් තමයි ගෙදර හාම්පුතා කියලා. ඇත්ත වශයෙන් ම ඔහු හාම්පුතා නොවෙයි. මේ ක්‍රියාවලිය තමයි නුතන යුගයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සුගත් මේ ක්‍රියාවලිය ප්‍රවෘත්තිකරණයට අදාලව ඉතාමත් සංක්ෂිප්තව විස්තර කර තිබෙනවා.

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදි සමාජය තුළ මාධ්‍ය සිදු කළ යුතු ප්‍රධාන භූමිකාවක් තමයි වඩාත් ම හොදට සමාජ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් පිරිස් දේශපාලන ක්‍රියාවලිය තුළ ඉන්නවා නම් ඔවුන් දේශපාලන ප්‍රභූත්වයට හඳුන්වාදීම. අද මාධ්‍ය වලින්  ඒක කෙරෙනවා ද කියන එක වෙනම දෙයක්. ප්‍රභූත්වය නවීකරණය කිරීමේ කාර්ය නුතන යුගයේ පැවරිලා තිබෙන්නේ සංහතික මාධ්‍ය වලට. ඒක කෙරෙන්න නම් අනිවාර්යෙන් ම ආණ්ඩුවේ තිබෙන දේවල් සාධනීය ලෙස විවේචනය කරන අයගේ අදහස් ප්‍රවෘත්ති ප්‍රකාශ තුළ තියෙන්න ඕන. එවිට එවැනි පුද්ගලයින් දේශපාලනයට තෝරා ගැනීමට ජනතාව උනන්දු වෙනවා. ඒ වගේ ම දේශපාලන ප්‍රභූත්වය තේරුම් ගන්නවා ඔවුන් තම පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ කර ගන්න. එහෙම නැතිනම් ගහගන්න ඒවාවත්, එහෙන් මෙහෙන් අල්ලන ඒවාවත් නෙවෙයි ප්‍රවෘත්තිවල තිබෙන්න ඕන. එහෙම වුනොත් ඒ අය තමයි දේශපාලනයට තේරෙන්න පටන් ගන්නේ. එතනදී විශාල කාර්යභාරයක් ප්‍රවෘත්තිකරණයට පැවරෙනවා. නමුත් වර්තමානයේ ඒ කාර්ය හරියට ඉටු වෙනවා ද කියන එක හිතලා බලන්න ඕන. මෙයයි නුතන යුගයේ ආකෘතිය.

දෙවැනි යුගයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වන්නේ යථාර්ථය පදනම් කරගෙන. තුන්වැනි යුගයේ දී එන්නේ මායාව. නැතිනම් ආභාසී යථාර්ථය. ඒ කියන්නේ යම් යම් ප්‍රතිරූප. ඒවා ප්‍රවෘත්ති වල යනවා හැබෑයි කිසිම සම්බන්ධයක් නැහැ. ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) නැතිනම් පශ්චාත් සත්‍යය(post-truth). නිදසුනක් ලෙස පුරාතන යුගයේ ආකෘතිය තුළ යම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ගතහොත් ඒ පින්තූරය සියයට සියයක්ම එම පුද්ගලයාට සමානයි. නුතන යුග‍යේ ඒ පිංතූරය ගතහොත් එය තමන්ට ඕන විදිහට සංස්කරණය කර ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ එම පින්තූරය ගන්න පුළුවන් අදාල පුද්ගලයාගෙන් තොරව. මුලාශ්‍රයක් අවශ්‍යත් නැහැ. ඔරිජිනල් එකත් අවශ්‍ය නැහැ. මෙන්න පශ්චාත් නුතන යුගයේ ප්‍රවෘත්තිකරණයේ ඉරණම.

උදාහරණයක් හැටියට ඉරාක යුද්ධයේදී CNN ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ආකාරය බලන්න. සිරියානු ප්‍රශ්න පිළිබද අමෙරිකානු නාලිකා හා රුසියන් ටුඩේ වගේ ආයතන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන විදිහ අහසට පොළොව වගේ. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් බිහි කරන්න ප්‍රවෘත්තියට වස්තු විෂය වන තැනක් අවශ්‍ය නැහැ. සාධක, සිද්ධි, දත්ත, සිද්ධි වාචිකත්වය, විෂයමුලිකත්වය ඒවා කිසිවක් අවශ්‍ය නැහැ. ඒ යුගය දැන් අවසානයි. දැන් තියෙනවා  ඩිජිටල් සංශ්ලේෂක විධි (digital synthetic forms). මෙන්න මේවා මගින් අපිට ඕනෑම දෙයක්, ඕනෑම යුද්ධයක්, ඕනෑම සිද්ධියක්, ඕනෑම ක්‍රියාවලියක්, ඕනෑම පිංතූරයක්, ඒ පිංතූරයේ තිබුණ සැබෑ යථාර්ථයටත් වඩා යථාර්ථවත් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මායාව හා යථාර්ථ යුගය අවසානයි. මේ තත්වය බලපා තියෙනවා ප්‍රවෘත්තිකරණයට. ඒ නිසා මේ ගැන බරපතල විදිහට හිතන්න වෙලා තියෙනවා.

මේ වනවිට ඇමෙරිකාව වගේ රටවල ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) ගැන බහුලව කථා කරනවා. ඒවාට මුලාශ්‍ර නැහැ. මුකුත් නැහැ. නමුත් විශාල බලපෑමක් කරනවා. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා මේවා විසුරුවා හරිනවා. මේ නිසා මනුෂ්‍ය වර්ගයා මේ මාධ්‍ය පරිණාම ක්‍රියාවලිය තුළ වර්තමානයේ පත්ව තිබෙන්නේ උභතෝකෝටික තැනකට. ඒ නිසා දැවැන්ත අර්බුධයකට ගිහින් තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය විතරක් නෙවෙයි සමස්ත ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ මනුෂ්‍යා‍ගේ පැවැත්මේ පදනම අර්බුධයකට ගිහිල්ලා තියෙනවා. අද ප්‍රවෘත්ති විදිහට නිර්මාණය වන්නේ මේක ඇතුළේ තියෙන දේවල්. ඒ නිසා මේක විශාල බාරදුර කාර්යක්. එතකොට සුගත්ගේ මේ කෘතියේ මේ ඉතිහාසය ඉතා හොදින් පැහැදිලි කරලා තියෙනවා.

මම හිතනවා මේ ග්‍රන්ථයෙන් තල දෙකකින් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. එකක් තමයි කාට හරි මේක කියවන්න පුළුවන් අපි දැන් මේ කරපු විග්‍රහයෙන් පරිභාහිරව සාමාන්‍ය ප්‍රවෘත්තිවල ආරම්භය, ඉතිහාසය ආදී වශයෙන් පෙළ පොතක් විදිහට. එහෙම නැතිනම් අපි මේ කියපු ක්‍රමවේදය ඔලුවේ තියාගෙන කියවනවා නම් වෙනත් චිත්‍රයක් මතුකර ගන්නත් පුළුවන්. ඒ නිසා මේ කෘතිය දෙස තල දෙකකින් අපිට බලන්න පුළුවන්.

මේ කෘතිය සම්පාදනය කළ සුගත් රත්නායක තරුණ මාධ්‍යවේදියා, පර්යේෂකයා ඔහුගේ අත්දැකීම් මේ කෘතියෙන් අපුරූවට ඉදිරිපත් කරලා තියෙනවා. අපේ අරමුණ වෙන්න ඕන මේවා කියවලා ප්‍රයෝජනයට ගැනීම නැතිනම් සංවාදයක් ඇති කිරීම. වර්තමාන මාධ්‍ය ලෝකයේ තිබෙන අර්බුධකාරි තත්වය යම් ආකාරයකින් තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රවේශයක් මේ කෘතියෙන් ප්‍රවෘත්තිකරණ ක්ෂේත්‍රයට ඉදිරිපත් කරන බව මගේ විශ්වාසයයි. ඒ වගේ ම මේ කෘතිය විද්‍යාර්ථීන්ට, පාසල් පද්ධතියේ ජනමාධ්‍ය හදාරන සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට ද වැදගත් වෙනවා. මෙහි තිබෙන වැදගත් ම දේ තමයි ප්‍රවෘත්ති කියන ප්‍රපංචයට වර්තමානයේ මොකක්ද වෙලා තිබෙන්නේ කියන එක තේරුම් ගැනීමට යම් ආකාරයකින් යතුරක් සැපයීම. මෙවැනි කෘති තව තවත් ක්ෂේත්‍රයට දායක කරන්නට ඔහුට හැකියාව හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඩ වෙනවා ස්තුතියි.

සුගත් රත්නායකගේ තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල ආචාරවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් හා දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. එහිදී     ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන අශෝක ඩයස් හා කිංස්ලි රත්නායක යන මහත්වරු ද දේශන පැවැත්වූහ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 දා
Next post විරෝධතාවක් හේතුවෙන් කොටුව, ලෝටස් පාර වසයි