සිය දරුවන් පාසැල් නොයවන ශ්‍රී ලාංකික විද්‍යාඥ යුවල

Read Time:7 Minute, 23 Second
උභයජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ

දැනටමත් නව ජීවින් විශේෂ 26ක් ලෝකයට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ පවුලක් ශ්‍රී ලංකාවේ ජීවත් වේ. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිති. උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිඳ වන නෙතූ වික්‍රමසිංහ සහ සිය දරුවන් සමග වනගතව මෙම පර්යේෂණ සිදු කරයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද ඔවුන්ගේ පර්යේෂණ කණ්ඩායමට ඇතුළත්ය.

යුධ හමුදාවේ කොමාන්ඩෝ බලකාය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සහ විශේෂ බලකාය ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට වනයේ නොනැසී ජීවත් වීම සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක පුහුණුව දශකයකට අධික කාලයක් තිස්සේ ලබා දීමට ද මෙන්ඩිස් වික්‍රමසිංහ දායක වී ඇත. දශක දෙක හමාරක් තිස්සේ වනජීවී පර්යේෂණ කටයුතුවල නිරත ඔහු දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත ගොස් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිය දැනුම බෙදා දෙයි.

මේ වන විට නව උරග විශේෂ 15ක් සහ උභය ජීවී විශේෂ 11ක් ලොවට හඳුන්වා දී ඇති මෙන්ඩිස් වික්‍රමසිංහ, වසර 135 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් තිබූ බවට විශ්වාස කෙරුණු ජීවින් තිදෙනෙකු සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නැවත ලොවට හඳුන්වා දීමට ද සමත් විය.මෙන්ඩිස්ගේ සොයාගැනීම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ 2012 වසරේදී ලොවට හඳුන්වා දුන්, දැනට දන්නා තොරතුරු අනුව රත්නපුර, ගිලීමලේ රක්ෂිතයෙන් පමණක් හමුවන ‘රන්වැල්ලගේ ගස් ගෙම්බා’ හඳුන්වාදීමය.

මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලබන සතුන් නව විශේෂ බවට තහවුරු කිරීමට අදාළ ජාන විද්‍යාත්මක පර්යේෂණ කරනු ලබන්නේ මෙන්ඩිස්ගේ බිරිද වන නෙතු වික්‍රමසිංහ විසිනි. ඔවුන්ට අමත සහ ගගන නමින් පුතුන් දෙදෙනෙක් හා අරංගා නමින් දියණියක් සිටිති. අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියට ද සර්පයන් හුරුය. එම දැරිය සර්පයන් ස්පර්ෂ කරන අයුරු ඉතා විස්මය ජනකය. අමත සහ ගගන දරු දෙදෙනා බොහෝ විට නිවසේ නැත. ඒ, වටපිටාවේ හූනන්, හිකනලයන්, ගෙම්බන්, පණුවන් හෝ වෙනත් සතුන් හොයාගෙන යන නිසාය. මේ පුංචි විද්‍යාඥයින් වටපිටාවෙන් ගෙදරට රැගෙන ආ සත්ත්ව විශේෂ තුනක් ලෝකයට අලුත් සතුන්ය. උන් විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ලෝකය ජය ගත්ත ද සිය දරුවන් පාසල් යවන්නේ නැත. සිය දරුවන්ට සොබාදහම තුළින් ජීවිතාවබෝධය සහ නව ලෝකයේ දැනුම ලබා දෙන මේ සුවිශේෂී විද්‍යාඥ යුවළ වත්තල ප්‍රදේශයේ වාසය කරයි.

“මගේ දරුවෝ තරඟකාරී පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව තමයි අධ්‍යාපනය ලබන්නේ. දෙන්න ම නිදහසේ ඉගෙන ගන්නවා. ගෙදරට පොල් කඩන්න කවුරු හරි ආවොත් මේගොල්ලෝ ඒ අයගෙන් වුණත් ජීවිතයේ අරුත ඉගෙන ගන්නවා. ඔය වගේ විදියට තමා ඉගෙන ගන්නේ,” යනුවෙන් මෙන්ඩිස් පවසද්දී නෙතූ ඒ කතාව විස්තර මෙසේ කළාය.

”අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ දැඩි තරඟකාරී තත්ත්වයක්. ඒ තුළ ළමයි ආත්මාර්ථකාමී පැත්තටයි යන්නේ. අපේ ළමයින්වත් ඒ පැත්තට ඇදල දාල ඔවුන්ගේ නිදහස නැති කරන්න, ළමා කාලය උදුරගන්න අපිට ඕන නෑ. දරුවෙකු දැනුමින් සන්නද්ධ කරන්න ඕන වෙලාවක පුළුවන්. ඒත් හැකියාවන් හා ආකල්ප එහෙම දෙන්න බෑ,” යන්න නෙතූගේ අදහසයි

ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන්ගේ දරුවා ”ලොකු මිනිසෙකු” කිරීමට බොහෝ දෙමව්පියන් උත්සහ කළ ද ”හොඳ මිනිසෙකු” කිරීමට එතරම් උත්සහයක් නොගන්නා බවය. අධ්‍යාපන සහතික තියාගෙන ප්‍රායෝගිකව වැඩක් කරන්න බැරි කී දෙනෙක් දවසකට ඔබට හමුවෙනවා ද? උදාහරණයක් විදියට කිසි කලෙක වර්ෂා වනාන්තරයකට නොගිය ගුරුවරයෙක් ඔහු මවා ගත් චිත්ත රූප ඔස්සේ, සිංහරාජ වනාන්තරය ගැන එහි කවදාවත් නොගිය ළමයෙකුට විස්තර කරද්දී ඒ දරුවා වටහා ගන්නේ මොන වගේ දෙයක් ද? අපි ළමයින්ට දිය යුත්තේ ප්‍රායෝගික අධ්‍යාපනයක්,” යනුවෙන් නෙතූ පැවසුවාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන්ගේ දරුවා ”ලොකු මිනිසෙකු” කිරීමට බොහෝ දෙමව්පියන් උත්සහ කළ ද ”හොඳ මිනිසෙකු” කිරීමට එතරම් උත්සහයක් නොගන්නා බවය.

‍‍මේ එම ශ්‍රී ලාංකික විද්‍යාඥ පවුල විසින් කරනු ලැබු පර්යේෂණවල ප්‍රතිපල කිහිපයකි.

01. ශ්‍රී ලංකාවෙන් නව ජීව විශේෂ ලොවට හඳුන්වා දීම නිසා ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ ගියේය.

02. ශ්‍රීපාද අඩවියේ සිදුකළ පර්යේෂණවලදී නව ජීවින් අට දෙනෙකු හඳුන්වා දීමේ දත්ත පදනම් කරගෙන ශ්‍රීපාදයේ මාර්ග ව්‍යාපෘතියක් හා හෙලිකොප්ටර් ගොඩබස්වන ස්ථානයක් ඉදිකිරීමේ සැලැස්ම අත්හිටුවන ලදී.

03. මුළු ලොවින් ම රත්නපුර, ගිලීමලය රක්ෂිතයේ පමණක් දක්නට ලැබෙන ”රන්වැල්ලගේ ගස් ගෙම්බා” සොයා ගැනීමට අදාළ පර්යේෂණ දත්ත මත රත්නපුරයේ ගංවතුර පාලනයට මල්වල ප්‍රදේශයේ බැම්මක් ඉදිකිරීමේ තීරණය වෙනස් කිරීමට සමත් විය.

04. වෙඩිතලතිව් අභය භූමියට හානිදායක ඉස්සන් කොටු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ඔවුන්ගේ පර්යේෂණ ඉවහල් විය.

05. රක්ෂිත ප්‍රදේශ ගැසට් කිරීමට මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සා තෙත් බිම් ප්‍රකාශයට පත් කිරීමේදී ද මෙන්ඩිස් වික්‍රමසිංහගේ පර්යේෂණ දත්ත ප්‍රයෝජනයට ගන්නා ලදී.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next post පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 දා