• ඕෂධ කොහොමද ඉතින්. මේ දවස්වල මොකද
    වෙන්නෙ?

මේ දවස් වල නම් ස්වර්ණවාහිනියේ විකාශනය
වන කුමී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට
සහභාගි වෙනවා. ඒ වගේම ළමා රක්ෂණ
අධිකාරිය වෙනුවෙන් චතුර ජයතිලක මහතා
අධ්‍යක්ෂණය කරන වාර්තාමය⁣ ටෙලි නාට්‍යයක
සහය අධ්‍යක්ෂණයට දායක වෙලා ඉන්නවා. ඒ
වගේම දෙවෙනි ඉනිම, සංගීතේ කියන ටෙලි
නාට්‍යවලට සම්බන්ධීකරණයෙන් සහ මුල්‍ය
පරිපාලනයෙන් දායක වෙලා ඉන්නවා.

  • ඕෂධ කියන නම කලාවට එන්නෙ
    කොහොමද?

මගේ ගමන පටන් ගන්නේ ගුවන් විදුලි හඩ
කැවීම් ශිල්පියෙක් විදිහට. ළමා නිවේදකයෙක්
විදිහට. හැබැයි පස්සේ කාලෙක සිරස
රූපවාහිනියේ ටැලන්ට් ෆැක්ටරිය හරහා සහය
අධ්‍යක්ෂවරයෙක් විදිහට මම ටෙලි නාට්‍ය
ක්ෂේත්‍රයට එනවා.

  • හඬ කැවීම් ශිල්පය ගමන් මඟ කර ගත්
    ඔබ අද නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. හඬ කැවීම්
    ශිල්පයට වඩා ඔබ අද ඉන්න තැනට එන්න
    ප්‍රධාන පෙළඹුම මොන වගේද?

මට හීන දෙකක් තිබ්බා. එකක් රූපවාහිනි
නිවේදකයෙක්. විශේෂයෙන් ප්‍රවෘත්ති
නිවේදකයෙක් වෙන්න. අනික ටෙලි නාට්‍ය
නළුවෙක් වෙන්න. මම පුංචි කාලේ ඉදලම
නිවේදකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඒත්
පසු කාලෙක මට ටෙලි නාට්‍ය පැත්ත තෝරා
ගන්න සිද්ධ වුනා. ඒ දවස්වල ඉතින්
ආර්ථිකයත් ඊට හේතුවක් වුනා.

  • නිවේදන වෘත්තිය ගැනත් යමක් සදහන්
    කලොත්?

නිවේදකයෙක් වෙන එක ලේසී නෑ. වගකීමක්
ඇති වෘත්තීයක්. අනිවාර්යයෙන්ම හැදෑරීමක්
අවශ්‍යයයි. 2007 ස්වර්ණාභීමානය තරඟාවලියේ
විවෘත අංශයේ දක්ෂතමයා විදිහට මට
අවස්ථාව ලැබුණා පුහුණු නිවේදකයෙක් විදිහට
වැඩ කරන්න. රැදෙන්න බැරි වුනත් ඒ අවස්ථාව
මට සුවීශේෂි අවස්ථාවක්. ලස්සන මතකයක්.

  • පාසල් අවධිය කොහොමද?

මා මූලීක අධ්‍යාපනය ලැබුවේ මීගමුව කුරණ
ශාන්ත ආනා මහ විද්‍යාලයෙන්. ලස්සන පාසල්
කාලයක් මට තිබුණා. පාසලේ කැපි පෙනුන
නිවේදකයා වුනේ මම. පාසල් වේදීකාව මට
හොඳ තෝතැන්නක් වුනා. ඒ වගේම මීගමූව
ලොයලා විද්‍යාලයත් මට අමතක කරන්න බෑ.

අදටත් මතක් වෙනකොට දුවලා ගිහින් එන්න
හිතෙන තරම් බැදීමක් ආදරයක් තියෙනවා. අපි
අද මෙහෙම ඉන්නේ අපේ පාසල හා ගුරුවරුන්
නිසා.

  • කලාවේ හැම තැනකම දැන් ඕන තරම්
    නවකයෝ ඉන්නවා. ඔබ දකින විදියට මොන
    වගේ හැදෑරීමක් අවශ්‍යද කලාව තුළ
    රැදෙන්නට?

ඔව්. නවකයෝ එන්න ඕනේ. ඒත් අද ඉන්න
හුඟාක් නවකයන්ට මුල මතක නෑ. කෙලෙහි
ගුණයක් නෑ. ප්‍රවීනයන්ට ගරු කරන්න දන්නේ
නෑ. හැබැයි හැමෝම එහෙම නෑ. එකක දෙකක
රඟපාලා ජනප්‍රිය වුනාම එහෙම හිතනවා ඇති.
හැබැයි එහෙම අයට කාලයක් රැදෙන්න බෑ.

  • ඔබේ නාට්‍ය ක්ෂේත්‍රයේ ආරම්භය මොන
    වගේද?
    සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට මම මගේ ගමන
    ආරම්භ කලේ. ලංකාවේ ඒ ඒ කාල වකවානුවල
    ජනප්‍රියම නාට්‍යවලට දායක වෙන්න මට
    වාසනාව ලැබුණා. කිදුරංගනා, නිල් අහස ඔබ,
    වස්සානේ ප්‍රේමය, මිල්ලෑව වලව්ව, ආයෙමත්
    ආදරෙන් වගේ නාට්‍යවලට. අද මම ඉන්න තැන
    ගැන මට සතුටුයි. ලංකාවේ ජනප්‍රියම ටෙලි
    නාට්‍ය ද්වීත්වය දක්වාම මට එන්න අවස්ථාව ලැබුණා.

 

  • ඉතින් මේ දවස්වල මොකද කරන්නේ ?

මේ දවස්වල වැඩියෙන් ඉන්නේ සාරංග මෙන්ඩිස්
ප්‍රඩක්ෂන් එකේ. ඒ අය එක්ක තමයි. ඒ වගේම
කූමී, පිරිවර සහ ඵවින්ගේ කතාවේ පිරිවර
සමග. ඒ වගේම මං ගොඩාක් ආසාවෙන් හිටිය
චරිතයක් වන, රංගන ශිල්පිනියක් වන චාන්දනි
සෙනෙවිරත්න ප්‍රවීන ශිල්පිණිය සමග වැඩ
කරන්න තිබුණ සිහිනයත් දැන් සැබෑ වෙලා
තියෙනවා.

  • ඕෂධ කියන්නේ ඕනෑම චරිතයකට පණ
    පොවන කෙනෙක්ද? විශේෂ තෝරා ගැනීම්
    තියෙනවාද?

ඔව් මට ගැළපෙන සුදුසු ඕනෑම චරිතයකට මම
පණ පොවනවා. පන පොවන්න පුළුවන්. විශේෂ
තෝරා ගැනිම් නැහැ.

  • කලාවේ අමතක නොවෙන අත්දැකීම් එහෙම
    ඇති. ඒ ගැන සදහන් කලොත්?

දැන් මම කලාවට ඇවිත් අවුරුදු 18 ක් වෙනවා.
එදා මෙදා තුර මතකයන් ගොඩායි. ඒ හැම
එකක්ම අමතක වෙන්නේ නෑ. මං ලොකු
කට්ටක් කෑවා. මං තමයි ඉස්සර සෙට් එකේ
වැඩ කරපු පුංචිම එකා. හැමෝම මට ආදරෙයි.

අපි අංගානි නාට්‍යයේ රූගත කිරීම් වලට
අනුරාධපුරේ ගියා. මම ඒ කාලේම NITT එකේ
මාධ්‍ය ඩිප්ලෝමාව කරනවා. ඉතින් හැම
වෙලේම නිවාඩුවක් ලැබුනොත් කාමරේට වෙලා
නිව්ස් කියනවා. කම්මැලිකම යන්න ඒ අතරේ
සිංදුවකුත් කියනවා. සමහර දවස්වල රැ එක
දෙක වෙනකල් වගේ. එක දවසක් මම ඔහොම
පාන්දර සිංදුවක් කියන් ඉන්නකොට එකපාරටම
ප්‍රවීන රංගන ශිල්පිණියක් කෑ ගහගෙන එළියට
ආවා. කව්ද බං මේ මහ රෑ සිංදු කියන්නේ අපි
නිදා ගන්නේ නැද්ද . මම මේ දැන් ආවේ දවසෙම
වැඩ කරලා කියලා. මට දෙලෝ රත්වුනා. මට
කරන්න දෙයක් තිබුණේ නෑ. එහා කාමරේ
නිදාගෙන හිටපු රංගන ශිල්පියාගේ නම කියලා
බලන්නකෝ අක්කේ කියලා එයාටත් කිව්වා.
ඒක තමයි ඔයා යන්න. මම බලන්නම් කියලා
මේ මහ රෑ පිස්සුනේ කියලා එයාව කොහොම
හරි කාමරේට යැව්වා. ඒක නම් කවදාවත්
අමතක වෙන්නේ නෑ. රංගන ශිල්පිණිය ජයනි
සේනානායක. ඒ වෙන කවුරුත් නෙවෙයි රංගන
ශිල්පිණි ජයනි සේනානායක. මම පාවලා දුන්නේ
උපාලි කීර්තීසේන අයියව. හැබැයි පහුවදා
ජයනි අක්කා දැනගත්තා මම ඒක කලේ කියලා.
අදටත් ඇය මට එදා වගේම ලෙන්ගතුයි. ඔය
වගේ මතක ගොඩායි. කිදුරංගනා, ඉර හඳ යට
හමුවී, සත් රළ පෙළ, නිල් අහස ඔබ වගේ
නාට්‍යවල. ඒවා අදටත් මතක් වෙනවා.

  • සාමාන්‍ය ජීවිතේ ඕෂධ කියන්නෙ මොන
    වගේ චරිතයක්ද?
    ඕෂධ කියන්නේ අනුන් වෙනුවෙන්ම ඉපදුන
    කෙනෙක්. මම ගොඩාක් මිනිස්සු විශ්වාස කරලා
    උදව් කරලා අවසානේ ගොඩාක් මිනිස්සුන්ට
    රැවටිලා තියෙනවා. හැබැයි මගේ හිත ගොඩාක්
    උණු වෙනවා ඉක්මණින්. මම කාටවත් වරදක්
    නොකරන මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

 

  • ආදරේ ගැන කතා කලොත්?

ආදරේ කියන්නේ බොරුවක්. අම්මගේ ආදරේ
ඇරුනාම මේ ලෝකේ මං ඇත්ත ආදරයක්
දකින්නේ නෑ. මට අම්මගේ ආදරේ,මට ආදරේ
කරන අයගේ ආදරේ නොඅඩුව ලැබෙනවා. ඒක
නිසා මාසයකට දෙකකට නැත්නම් අවුරුද්දකට
දෙකකට සැනසෙන්න විතරක් ආදරයක්
මොකටද? මට ආදරේ ගැන තියෙන්නේ
කළකිරීමක්. අමිහිරි මතකයක්.

  • එතකොට ඕෂධ කියන්නෙ ආදරෙන් පැරදුණු
    කෙනෙක්ද?
    අපෝ නෑ. බොරු ආදරයකින් බේරූණ කෙනෙක්.
    මම වාසනාවන්තයි. මට ආදරේ නැති
    කෙනෙකුට ආදරේ කරලා වැඩක් නෑ. ඒක
    තේරූමක් නෑ. ආදරේ කියන්නේ තේරූම් ගැනීම.

අනුන් වෙනුවෙන් වැය වීම. මම මේ දේ
කියන්නම්. ආදරේ නිසා දිනුවා කියලා හිතුව
කවුරුවත්, මැරෙනකල්ම දිනුවා කියන මතයේ
ඉන්නේ නෑ. මං කියන්නේ මගේ අත්දැකීමෙන්.
මේ ලෝකේ ආදරේ දිනුවට ආදරේ නිසා දිනපු
කෙනෙක් නෑ.

  • හොදයි ඉදිරි වැඩකටයුතු ගැන කතා
    කලොත්?
    රංගන ශිල්පියෙක් විදිහට හොද නිර්මාණ
    කිහිපයකට දායක වෙන්න වගේම රැකියාව
    හොදින් කරගෙන අම්මවත් බලාගෙන හොඳින්
    ඉන්න එක තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව.

 

  • පවුලේ විස්තර ගැනත් කිව්වොත්?
    තාත්තා නම් ජීවතුන් අතර නෑ. මට එක
    සහෝදරියක් ඉන්නවා. ඇය විවාහකයි. අම්මයි
    මමයි තමයි ඉන්නේ. මගේ ජීවීතේම අම්මා.

 

  • ප්‍රේක්ෂක ආකර්ෂණය විවිධාකාර ලෙස
    ලැබෙනවා.කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක
    ප්‍රතිචාර?
    හුඟ දෙනෙක් මාව දන්නවා. මට කතා කරන
    අය ඉන්නවා. ඇත්තටම සතුටුයි. සමහර
    අවස්ථාවලදී හිතා ගන්න බැරි විදිහට
    ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම රසිකයන්ගේ ආදරය ප්‍රතිචාර අපට ලොකු හයියක්.
  • මේ ගමන් මගේ මිහිරි වගේම අමිහිරි
    අත්දැකීමුත් ඇති නේද?
    වැඩියෙන් තියෙන්නේ අමිහිරි අත්දැකීම් තමයි.
    හුඟක් වෙලාවට අපිත් එක්ක එකටම ඉන්න
    අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. උඩින්
    හොඳට කතා කලාට හුඟක් අයගේ හිත් හොඳ
    නෑ. කැපිලි කෙලිටි, බොරු කේලාම්, අපවාද,
    බොරු චෝදනා, ඒවා නම් අනන්තයි. අප්‍රමාණයි.
    හැබැයි ඉතින් කවදාවත් ආපස්සට නම්
    හැරෙන්න ඒවා හේතුවක් කරගත්තේ නෑ.
    හයියක් ,ශක්තියක් කර ගත්තා මිසක්. ඒවා
    තමයි අමිහිරි මතක.

 

  • රට හා දේශපාලනය ඔබ දකින්නේ
    කොහොමද.?
    ලංකාවේ දේශපාලනයද?අයියෝ කතා නොකර
    ඉමු. කවුරු ආවත් එකයි. නිදහසක් නැති රටක්.
    දැන් දෙවියෝ තමයි බලා ගන්න ඕනේ. රට
    ගැන නම් අපි ආඩම්බර වෙනවා. ඒත්
    අවාසනාවකට රට කරවන ඇත්තන් නිසා රට
    දවසින් දවස වල පල්ලට යනවා.

 

  • ලංකාව ලස්සන රටක්, ඒ අතරින් වැඩියෙන්ම යන්න කැමති මොන පළාතටද?

මං ගොඩාක් ආසයි නුවරඑළිය,බණ්ඩාරවෙළ වගේ පලාත් වලට.

  • අවසාන වශයෙන් ඔබ අද ඉන්න තැනට
    එන්න උදව් කරපු අයට ඔබට යමක් කියන්න
    තියෙනවාද?
    අම්මයි තාත්තයි අක්කයි වගේම මගේ
    ගුරුවරුන්ට මම ස්තුති වන්ත වෙනවා. ඒ
    වගේම මගේ රූපවාහිනි සිහිනය යථාර්ථයක්
    කළ තරුණ සංවර්ධන පදනමට, සුනිල්
    තිත්තගල්ල, දේවිකා තිත්තගල්ල, මේධා
    ජයරත්න, සුරංග සෙනෙවිරත්න මගේ
    ගුරුවරුන්ට, නිර්මාණ සඳහා මා දායක කරගත්
    අධ්‍යක්ෂවරුන්ට, එදා මෙදා තුර මා හා සිටි
    නවක, ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිණියන්
    සැමට. විශේෂයෙන් මට ආදරය කල සීතා
    කුමාරි ඇහැළේපොළ ප්‍රවීණ ශිල්පිණියට, සාරංග
    මෙන්ඩිස් හා චාමිකා මෙන්ඩිස් දෙපළට සහ
    උදව් උපකාර කල සැමට. ඒ වගේම ceylondaily.com
    වෙබ් අඩවියේ ඔබ ඇතුළු සියලු දෙනාටත් මම
    ස්තුතිවන්න වෙනවා මාව සහභාගි කර
    ගත්තාට.

 

සාකච්ඡාව හා සටහන – චාමර ඉලංගරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here