මොනවද මේ මෘතශරීර බහාලුම් Body bags  කියන්නේ. ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද. ඒවා භාවිතා කරනු ලබනුයේ කුමක් සඳහාද. මෙම අවදියේදී දැඩි කුතුහලයට ලක් වුනු, හැම දෙනාම කතාබහ වන කාරණයක්.

මෘතශරීර බහාලුම් වල දැඩිම අවශ්‍යතාවය පවතිනුයේ අධිකරණ වෛද්‍ය කේෂ්ත්‍රය තුලයි. ඒවා බහුලවම භාවිතයට ගනු ලබනුයේද ඔවුන් විසිනි. හදිසි තත්වයන් තුල ප්‍රයෝජනයට ගැනීම සඳහා ඕනෑම දෙයක සංචිතයන් තබා ගැනීම සාමාන්‍ය දෙයක්.

එය බෙහෙවින් වැදගත් වන්නේ  ආපදා කළමනාකරණ කටයුතු අවස්ථාවන්හිදී ය. මන්ද ජාත්‍යන්තර නීතිරීතීන් වලට අනුකූලව එම කටයුතු සිදු කළ යුතු බැවිනි.

පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී සතුව තිබුනු බහාලුම් විශාල ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගැනීමට අප හට සිදු උනා. එහිදී ඒවා අතිශය වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබුවා. කැබලි වී ගිය මෘතශරීර සමග ඇති සියලු කොටස් එම බහාලුමට දැමීම තුලින් පරීක්ෂණ කටයුතු කිරීමේදී මහත් පහසුවක් ඇති වනවා. අනෙක් කරුණ වන්නේ එම කොටස් අතර ඇති වටිනා බඩු බාහිරාදිය ප්‍රවේශම් ලෙස ආරක්ෂා කිරීමටද ඉන් හැකියාවක් ලැබීමයි.

එමෙන්ම අපරාධ ස්ථානයක තිබෙන මෘත ශරීර ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව වැඩිදුර කටයුතු  සඳහා මෘතශරීරාගාර වෙත ගෙන එනු ලබනවා. එහිදී සිරුරට හානි⁣යක් සිදු නොවන ආකාරය⁣ට එය සිදු කිරීම පරීක්ෂණ කටයුතු වලදී අතිශය වැදගත් කරුණක්. සිරුර බෑගය තුල තබා එහි  ඇති වැස්ම පියවීම තුලින් සහ ඔසවාගෙන යාම සඳහා  බෑගයෙහි ඇති විශේෂිත ආධාරක මගින් එම කටයුත්ත පහසුවෙන් සහ සුරක්ෂිතව කළ හැකියි.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නැවත ගොඩ ගැනීම් සිදු කරනු ලබන අවස්ථාවන්ද ඔබ දැක ඇති. බොහෝ දුර බැහැර පෙදෙස් වල සිට ඒවා අදාල පරීක්ෂණ සිදු කරනු ලබන ස්ථානයන් වෙත ආරක්ෂිතව සහ සුරක්ෂිත ආකාරයෙන් ප්‍රවාහනය කළ යුතු වෙනවා.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය මගින් මෙයට පෙරද අප වෙත ලබා දුන්නේ එවන් කර්තව්‍යයන් සඳහා නිශ්පාදනය කරන ලද  ඉහලම තත්වයෙන් යුත් බහාලුම්ය. මෙම අවස්ථාවේදී ද එවන් බහාලුම් විශාල ප්‍රමාණයක් ලබා ගත හැකි වේ නම් ඇත්ත වශයෙන්ම එය හැම අතින්ම බෙහෙවින් ප්‍රයෝජනවත්ය.

සටහන : නලින් හේමන්ත කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here