වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක් ගෙවීමට ඉදිරියේදී කටයුතු යොදන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (16) මාධය්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.

රාජ්‍ය අංශයේ ප්‍රතිරූපය වෙනස් කළ යුතු බව කී ජනාධිපතිවරයා ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව පැවසීය.තම රජය යටතේ මාධ්‍ය නිදහසට බාධාවක් නොවන බව කී ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරමින් අඩුපාඩු පෙන්වාදීම මාධ්‍යවල වගකීම බවද කීවේය.

බලය බෙදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති රාජපක්ෂ මහතා උතුරේ දේශපාලන පක්ෂ බලය බෙදීම ගැන කතාකරන්නේ තම බලය පවත්වාගෙන යාමට බවත්, ඒවා කරන්න බැරි බොරු වැඩ බවත් සඳහන් කළේය.

රට පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු උවදුර ගැන නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සෑම ප්‍රදේශයක්ම පිරිසිදුව පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය නිවේදන නිකුත් නොකරන්නේ මක්නිසාදැයි පුවත්පත් කතුවරයෙක් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකවරයකු පත්කරනු ඇති බව කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here